වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවදුරටත් පත්වීම් ලබා දීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ A.M.A නිශාන්ත, P.M.R ප්‍රනාන්දු සහ J.A.D.F ප්‍රියන්ත යන පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරමිනි.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිලධාරීන් සහ නිලධාරීන් රැසකගේ බරපතළ නොසැලකිලිමත් භාවයක් හෝ අතපසුවීම් කිහිපයක් අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබුණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් සහ එම පුද්ගලයන් පොලිස්පති පත් කිරීමට සුදුසුකම් නොලබීමට හේතු පැහැදිලි කරමින් කොළඹ අගරදගුරු මැල්කොම් කාදිනල් රංජිත් හිමිපාණන් කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් 2023 ජුනි 26 වැනි දින ලිපියක් මගින් පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියේය..
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
නීතීඥ තුෂාරි ජයවර්ධන මහත්මිය හරහා මෙම පෙත්සම ගොනු කර ඇත.