පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය – 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙම සමීක්ෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව එළිදක්වන ලද සමීක්ෂණ වාර්තාවකි.

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන් මිලියන 22 ක ජනගහනය අතුරින් මිලියන 3.5 ක් (අවුරුදු 10-19) වේ. ඉන් 71% ක් පාසල් යන අය වන අතර 29% ක් පාසල් නොයන අය වෙති.

සමීක්ෂණයට ලක් කළ සිසුන්ගෙන් 17.4 %ක් සෞඛ්‍ය සම්පන්න නොවන බීම පරිභෝජනය කරන බවත්, ඉන් වැඩි පිරිසක් පිරිමි ළමුන් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම සිසුන්ගෙන් 28% ක් දිනපතා සීනි සහිත පාන වර්ග පරිභෝජනය කරන අතර, 28.5% ක් දිනපතා ලුණු සහිත කෙටි ආහාර පරිභෝජන කරන බව ද පෙන්වා දෙයි. මීට අමතරව 29.3% ක් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කරන බවත්, 40.9% දිනපතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බව ද වාර්තාවේ සදහන් වේ. සිසුන්ගෙන් සියයට 70.4% ක් සමීක්ෂණයට පෙර ගත වූ සතියෙහි එක් වරක්වත් ක්ෂණික ආහාර අනුභව කර ඇති බව ද සදහන් ය.

වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසු සිසුවියන්ගේ  බර අඩු ප්‍රතිශතය 21.4 % ක් සහ අධිබර ප්‍රතිශතය 12.1 % ක් බව ද වාර්තා දත්ත තුළින් පෙන්වා දෙන අතර,  ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස අනුව, සිගරට් එකක් හෝ දෙකකින් දුම්පානය කිරීමට උත්සාහ කළ හෝ අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 12.8 % ක් බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *