පාතාලයන්ට ගිනි අවි සපයන විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට

ප්‍රබල පාතාල අපරාධකරුවන් කිහිප දෙනකුගේ මෙහෙයවීම මත අපරාධ සඳහා යොදා ගැනීමට සඟවා තිබූ ගිනි අවි කිහිපයක් සමඟ යුද හමුදාවේ විශ්‍රාමික සෙබළකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (04) ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත්තේ ඇඹිලිපිටිය කොතලාවල හන්දිය ප්‍රදේශයේදීය.

ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදන මැගසින් එකක්, එම අවියට යොදන උණ්ඩ 25ක් සහ චීනයේ නිෂ්පාදිත 9MM වර්ගයේ පිස්තෝලයක්, එම අවියට යොදන මැගසින් එකක් එම අවියට යොදන උණ්ඩ 07ක් සහ තියුණු ආයුධ කඩු දෙකක් සහ රම්බෝ පිහියක් මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන ඇත.

කොතලාවල හන්දියේ පදිංචිකරුවකු වන මෙම විශ්‍රාමික හමුදා සෙබළා වයස අවුරුදු 59ක පසුවන්නෙකි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශයක සැඟව සිටින උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී සමඟ මෙම විශ්‍රාමික හමුදා සෙබළා සම්බන්ධකම් පවත්වන බව විමර්ශනයේදී හෙළිවූ බව විශේෂ කාර්ය බළකා මාධ්‍ය අංශය සඳහන් කළේය.

උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ නිලධාරියාට පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ද, සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/ සංවිධානාත්මක අපරාධ/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්‌ඩායම විසින් මෙම වැටලීම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *