ප්‍රා.ලේ නැවතුනු ගොඩනැගිලිවල වැඩ අරඹයි

දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති වල වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැලසීම අරමුණු කර ගනිමින් පිහිටුවන ලද දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නව ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීම පසුගිය වසර කිහිපයේ ආරම්භ කර ඇත.

ඒ අතරින්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වැය ශීර්ෂ යටතේ ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන මත අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇති ව්‍යාපෘති 5 ක් ද ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම මත ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති ව්‍යාපෘති 6 ක් ද පවතින බව හඳුනා ගෙන තිබේ.

පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පොදුවේ බලපෑ හේතූන් මෙන්ම එම ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ පිරිවැය ඇස්තමේන්තු ඉහළ යාම හේතුවෙන් ඒවායේ වැඩ නිම කිරීම ප්‍රමාද වී ඇත. ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල ප්‍රතිපාදන භාවිත කරමින් ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති වල මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමටත්, ඉදිකිරීම් කටයුතු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගෙන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *