ගලේවෙල, බෙලිගමුවේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිසැලේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියේ CCTV දර්ශන මේ වනවිට ලැබී තිබේ.
එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
ගලේවෙල බෙලිගමුවේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැලක මුරකරු ඝාතනය කර එය පිරිසක් කොල්ලකා තිබුණේ පසුගිය 26 වනදා අලුයම් කාලයේදීය.
අත්පා සහ මුඛය රෙදි පටිවලින් ගැටගසා තිබූ මුරකරුගේ මළසිරුර අලෙවිසැලට යාබදව තිබී පොලීසිය විසින් සොයාගනු ලැබීය.
ජීවිතක්ෂයට පත්වී තිබුණේ ගලේවෙල පදිංචි 52 හැවිරිදි කේ. ස්වාමිනාදන් නමැති තිදරු පියෙකි.
26 වනදා මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ පුද්ගලයින් දෙදෙනකු අලෙවිසැල අසලට පැමිණ මුරකරු නිදාසිටින ස්ථානයට පැමිණෙන අයුරු CCTV දර්ශනවලින් දැක්වෙයි.
අනතුරුව කොල්ලකරුවන් එක්වරම, නිදාසිටින මුරකරුගේ හිස රෙද්දකින් ආවරණය කර දෙඅත් ගැටගසන අයුරු එහි දැක්වෙයි.
කොල්ලයට පැමිණි පුද්ගලයින් දෙදෙනා ඉන් පසුව මුරකරු බිම දිගේ ඇදගෙන යන ආකාරය එම CCTV දර්ශනවල සටහන්වී තිබුණි.
අනතුරුව අලෙවිසැල තුළට පිවිසෙන කොල්ලකරුවන් එහි තිබූ දෑ සොරකම් කරන ආකාරය ද CCTV කැමරාවේ සටහන්වී තිබුණි.
පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් රැගෙන ගොස් ඇත්තේ පොල්පැණි, මී පැණි සහ කිතුල් පැණි බෝතල් කිහිපයක් පමණක් බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.
සැකකරුවන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර එම දර්ශනවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දැනුම්දෙන්නැයි ගලේවෙල පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.