කපු මහත්වරු සහ රාජකාරිකරුවෝ සමන් දේවාලයේ පුද පූජා යළි අරඹති

කපු මහත්වරුන් ඇතුඵ රාජකාරිකරුවන්ගේ විරෝධතාවක් නිසා තේවාවන් සහ පූජාවන් නවත්වා තිබුණු රත්නපුර ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ පුද පූජා ඊයේ (08දා) සිට යළි ආරම්භ කිරීමට තීරණය කළ අතර වැඩබලන බස්නායක නිලමේවරයා සමග සම්බන්ධ නොවී තම රාජකාරි සිදුකරන බව ඔවුහු පවසති.

පසුගිය දෙදින සමන් දේවාලයේ තේවාවන් සහ පුද පූජා සිදු නොවුණේ වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීම පිළිබඳව රාජකාරිකරුවන්ගේ විරෝධතාව නිසාය. පසුගිය 31 වැනිදා වැඩබලන බස්නායක නිලමේවරයා පත්කර තිබුණි.

රත්නපුර සබරගමු මහා සමන් දේවාලය ආසන්න ප්‍රදේශවාසීහු සහ දේවාලය අසල කුඩා වෙළෙඳ සල් හිමියෝ ඊයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරිකරුවන් හමු වී දේවාලය වසා තැබීම තම ජීවනෝපායට ද බලපා ඇති නිසා යළිත් පුද පූජා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියහ. තමන්ට වුවමනා වූයේ වැඩබලන බස්නායක නිලමේ පත්කිරීමේ ක්‍රමවේදය අනීතික බව පෙන්වා දීම බවත් එය බලධාරින් වටහාගෙන ඉදිරියේදී සමන් දේවාලයට යහපතක් කරනු ඇතැයි විශ්වාස කරන බවත් සම්ප්‍රදායට අනුව එම කටයුතු සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සමන් දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ගයාන් විජයනාරායන මහතා පැවසීය.

වැඩබලන බස්නායක නිලමේවරයා සමග සම්බන්ධයකින් තොරව තම රාජකාරි ඉටු කරන බව සමන් දේවාලයේ රාජකාරිකරුවෝ පවසති. සමන් දේවාලයේ පුද පූජා යළි ආරම්භ වීමෙන් පසු වන්දනාමාන කිරීමට ඊයේ සිටම බැතිමතුන් පැමිණෙමින් තිබුණි.

සමන් දේවාලයේ ගැටලු විසඳීමට ලබන පෙබරවාරී 11 දා නව බස්නායක නිලමේවරයකු පත්කිරීම සඳහා නිලවරණය පැවත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *