නෙදර්ලන්ත අග්රාමාත්ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු වන ආර්ජන්ටිනා ජාතික ක්ෂේත්ර හොකී ක්රීඩක නිකොලස් කීනන් තම පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව සඳුදා (19) නිවේදනය කළහ.
ඒ බව ඔවුන් ඉන්ස්ටග්රෑම් සටහනක් මගින් ප්රකාශ කරමින්, “විශේෂ කෙනෙක් අප අතරට පැමිණීමට නියමිතයි. පුංචි පැටියෝ, 2027දී හමුවෙමු” යනුවෙන් සඳහන් කර තිබිණි.
“අපගේ ඩිම්බ දායකවරියටත්, අප වෙනුවෙන් දරුවා කුස දරා සිටින ලීසාටත්, ඔවුන් දෙදෙනාගේ පවුල්වලටත් ස්තුති කිරීමට ප්රමාණවත් වචන නැහැ. ඔබ නොසිටින්න මේ කිසිවක් සිදුවන්නේ නැහැ” යනුවෙන්ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ජෙටන් නියෝජනය කරන D66 පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, තමන් සමීපව ඇසුරු කරන, දැනටමත් දරුවන් සිටින යුවළකගේ සහයෝගය මත මෙම ගැබ් ගැනීම සිදු කිරීමට හැකි වූ බවයි.
“කුස දරා සිටින මව මෙන්ම ඩිම්බ දායකවරියද නෙදර්ලන්ත ජාතිකයන්. මෙය වාණිජමය අරමුණු මත සිදුකරන ආදේශක මව්ත්වයක් නොවේ. ආදේශක මව සහ ඩිම්බ දායකවරිය ජෙටන් හා කීනන්ගේ හිතවතියන්. අනාගතයේදී පියවරුන් වීමට නියමිත ඔවුන් දෙදෙනාගේ දරුවකු ලැබීමේ සිහිනය සැබෑ කර ගැනීමට මෙලෙස සහය වීමට හැකිවීම පිළිබඳව ඔවුන් සතුටු වෙනවා” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
ජෙටන් සහ කීනන් 2024 නොවැම්බර් මාසයේදී තම විවාහ ගිවිස ගැනීම ප්රකාශයට පත් කළහ.
ආදේශක මව වන ලීසාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “අපගේ ආදරණීය මිතුරන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාර කිරීම ඉතා විශේෂ දෙයක් ලෙස මට හැඟෙනවා” යනුවෙන් පවසා තිබේ.
1987 වසරේදී නෙදර්ලන්තයේ දකුණු ප්රදේශයේ වෙගල් නගරයේ උපත ලැබූ ජෙටන්, ඒ ආසන්නයේ පිහිටි උඩන් ප්රදේශයේ හැදී වැඩුණේය. අනතුරුව ඔහු නිජ්මෙගන් කළමනාකරණ පාසලේ අධ්යාපනය ලැබූ අතර, නෙදර්ලන්තයේ දුම්රිය මාර්ග යටිතල පහසුකම් නඩත්තු කිරීමේ වගකීම දරන ProRail ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
2017 වසරේදී D66 පක්ෂය නියෝජනය කරමින් නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්රී මණ්ඩලයට තේරී පත් වූ ඔහු, පසුව හිටපු අගමැති මාර්ක් රූට්ගේ රජයේ දේශගුණික හා බලශක්ති ප්රතිපත්ති පිළිබඳ අමාත්යවරයා ලෙසද කටයුතු කළේය. මාර්ක් රූට් මේ වන විට නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරයි.


