නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විමතිය පළ කළේය.

මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා මත නඩු පවරන බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබියදී මෙම අධිකරණයේ ඇති නඩු ගොනුව වසා දැමීමට උපදෙස් දී ඇති බව මියගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා හෙළි කළ අවස්ථාවේදී නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස විමතිය පළ කළේය.

රැඳවියන්ගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී එලෙස විමතිය පළ කළ මහෙස්ත්‍රාත්වරයා මෙහි නඩු කටයුතු අවසන් නොකර නඩු ගොනුව බහා තැබීමට නියම කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවට අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දෙමින් සිද්ධියට අදාළව දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුව වසා දැමීමට නීතීපතිවරයා පියවර ගෙන ඇති බව මියගිය රැදවියන්ගේ ඥාතීන් සහ රහස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නඩුව කැඳවන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *