නීති විභාගය ගැන නාමල්ගෙන් අභියෝගයක්

තමා නීති විභාගය වායු  සමීකරණය කළ කාමරයක තනිවම  ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත්   මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමාට එම චෝදනාව නැගූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතා  මෙසේ පැවසූවේ  නීති උපාධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

සමහරුන් වරප්‍රසාද වලට මුවා වී අවබෝධයෙන් බොරු කියන බව පැවසූ   රාජපක්ෂ මහතා  තමා සම්බන්ධයෙන්   නැගූ එම චෝදනාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නයි ඉල්ලීමක් කළේය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:

මම තමයි ඒ ගැන කිව්වේ. ඔහු නීති විභාගය ලියපු විදිය ගැන මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒව ලිඛිත තොරතුරු. ඒවගේම වීඩියෝත් තියෙනවා. මේ පරීක්ෂණවලට මුහුණ දෙන්න ඔහු ලංකාවට  එන බවත් කියනවා. ඔබ නීති විභාගය තනිකාමරයක ලිව්ව  බව රටම දන්නවා. මම ඉතා වගකීමෙන් පැහැදිලිව කිව්වා. ඔබතුමාට විතරක් ඒ පහසුකම දුන්නේ කොහොමද. ඔබ සමග විභාගය ලිව්ව තුෂාර  ජයරත්න තමයි මේ ගැන පැමිණිලි කළේ. ඔබතුමා සමග විභාගයට ලියපු අනිත් කෙනා කවුද කියල පරීක්ෂණයට ඇවිල්ල කියන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *