නීති – රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ

නීති – රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බව කී ජනාධිපතිවරයා බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බව කීය.

බෞද්ධ සම්ප්‍රදාය අනුව අනාගත පරම්පරාවට සුරක්ෂිතතාව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි .

බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 5 වැනිදා තෙක් විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *