“නිවාස යනු සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතිවාසිකමක්” අගමැතිනිය අවධාරණය කරයි

නිවාස යනු සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතිවාසිකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂිත සහ තිරසර නිවාස පහසුකම් සහතික කිරීම අරමුණු කරගත් නව රාමුවක් පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.

ලෝක ජනාවාස දිනය 2026 සැමරුම් උත්සවය  අරලියගහ මන්දිරයේදී පැවති අතර, එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දිගුකාලීන සහ තිරසර ජාතික නිවාස රාමුවක් ස්ථාපිත කිරීම සඳහා මූලික මූලධර්ම 9ක් මත පදනම් වූ ප්‍රතිපත්තිමය වෙනස්කම් රැසක් රජය විසින් හඳුන්වාදෙන බවයි.

“අපගේ අරමුණ වන්නේ ජනතාවගේ සහභාගීත්වය තුළින් ප්‍රජාවන් සවිබල ගන්වා, සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විතව තමන්ගේම නිවසක් ලෙස හැඳින්විය හැකි නිවසක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දීමයි,” යනුවෙන් ඇය පැවසුවාය.

මෙම ප්‍රතිසංස්කරණවල දැක්ම පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දත්ත මත පදනම් වූ සහ විද්‍යාත්මක තොරතුරු මත මෙහෙයවන සංවර්ධන ක්‍රියාවලියක් නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

පරිසර තිරසරභාවය, දැඩි ඉදිකිරීම් ප්‍රමිතීන් සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව මත පදනම් වූ, සියලු දෙනාට දැරිය හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීම එහි අරමුණ බවද ඇය සඳහන් කළාය.

“මේ සම්බන්ධයෙන් අපගේ අරමුණ වන්නේ කිසිවෙකුත් අත්හැර නොදැමීම සහතික කිරීමයි,” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

“සියලු දෙනාට ආරක්ෂිත නිවසක්” යන ගෝලීය තේමාව යටතේ මෙම ජාතික සැමරුම් උත්සවය නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-Habitat) සමඟ එක්ව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *