නිලධාරී හිඟය සහ විශ්‍රාම යෑම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව අර්බුදයක

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී එහි කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබේ.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත බවය.

පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයා දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබේ.

එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද පෙබරවාරි 25 වනදින විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.

මෙම හේතුවෙන් ඉදිරියේදී රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවන බව සඳහන්ය.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සිටින අත්දැකීම් අඩු නිලධාරීන් පුහුණු වන තෙක් ප්‍රධාන නිලතල දරන නිලධාරීන් විශ්‍රාම නොයවන ලෙසය.

කෙසේ වෙතත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මඟින් රටට බදු මුදල් අවශ්‍යම මොහොතක ඒවා එක්රැස් කිරීමට නොහැකි වන බව සුරාබදු විධායක නිලධාරීන්ගේ අදහස වී ඇත.

මේවන විට සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවක කළ යුතු පිරිසෙන් මේ වනවිට සේවය කරන්නේ සේවකයින් සියයට 35ක් පමණක් බව සඳහන්ය.

එමෙන්ම මාණ්ඩලික නිලධාරීන්ගෙන් දැනට සේවයේ නිරත පිරිස සියයට 55ක් බව වාර්තා වේ.

මේ වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාසැල් විවෘතව තබන සෑම දිනකම බදු වශයෙන් රුපියල් මිලියන 660ක මුදලක් බදු වශයෙන් එකතු කළයුතු බව සඳහන්ය.

ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 230ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් රජයට ලබා දියයුතු වේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් එම කාටයුතුවලට බාධා මතුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *