නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු ඊයේ ( 12 ) අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, අනූෂා බානගොඩ මහත්මියද සහභාගී විය.
ඒ අනුව, නාවික හමුදාපතිවරයා පළමුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත බෞද්ධාගමික වත් පිළිවෙත් සිදු කර බැති සිතින් වන්දනාමාන කිරීමෙන් අනතුරුව, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, පණ්ඩිත ඊතලවැටුනුවැවේ ඥාණතිලක මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.
රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට දායක වෙමින්, දේශය ගොඩනැඟීම සහ මතු පරපුර උදෙසා ආගමික සිද්ධස්ථාන රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලබන සුවිශාල කාර්යභාරය ඇගයීමට ලක් කළ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාවේ එම කාර්යභාරය ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම සඳහා දායකත්වය ලබා දෙන මෙන් නාවික හමුදාපතිවරයා වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත වෙත අනුශාසනා කර, ඒ සඳහා ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සහ තෙරුවන්ගේ පිහිට හා ආරක්‍ෂාව නාවික හමුදාධිපතිවරයා ඇතුළු සියලුම නාවික හමුදා සාමාජිකයන් වෙත නිරතුරුව ලැබේවායි සෙත් ප්‍රාර්ථනා කළහ.
මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ෙජ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වුහ.