දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ(17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සමට අතුරු නියෝගයක් ලබා දෙමිනි.
ඉකුත් අප්‍රේල් මාසයේදී පැවති දේව මෙහෙයක් අතරතුර දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයක් සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර ඒ තුළින් ඔහු බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් විවිධ පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ අතර ඒ පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
තමන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතියට පටහැනි බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් දේවගැතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව එම පෙත්සමේ අතුරු නියෝගයක් ලබාදෙමින් දැනට විදේශ ගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් ඉන් අනතුරුව අදාළ දේවගැතිවරයාට එරෙහිව සාමාන්‍ය පරිදි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කළ හැකි බවත් අභියාචනාධිකරණය පොලීසියට නියෝග කරනු ලැබීය.