දකුණේ සංචාරක කර්මාන්තය ගැන හොයන්න ජනපති යයි

දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ පිබිදීම පිළිබඳ සොයා බැලීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

මෙහිදී සංචාරක හෝටල් කිහිපයකට ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව  විමසා බැලීය.

සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට ද එක් වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබා ගැනීමට කටයුතු කළේය.

මේ අතර සති අන්ත නිවාඩු දිනයේ දී තංගල්ල සහ ගාල්ල වෙරළ තීරය වෙත පැමිණ සිටි දේශීය සංචාරකයන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිවරයා මඟ දෙපස සිටි ජනතාව සමඟ  ද කතා බහකට එක් වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සොයා බැලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *