තාවකාලික පදනමින් ගොවිතැන් සඳහා හෙක්ටයාර 5000ක් ලබාදීමට පියවර…

මොණරාගල, කොටියාගල සහ කැබිලිත්ත යන ප්‍රදේශවල ඉඩම් හෙක්ටයාර් පන්දහසක් (5000) තාවකාලික පදනමින් ගොවිතැන සඳහා ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මොනරාගල, කොටියාගල සහ කැබිලිත්ත ප්‍රදේශයේ ඉඩම් ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගොවිතැන් කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

PMD ට අනුව, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොනරාගල, කොටියාගල සහ කැබිලිත්ත ප්‍රදේශවල හෙක්ටයාර් 8000 ක පමණ භූමි ප්‍රමාණයක් නැවත වන වගාව සඳහා වෙන් කර ඇත.

එම ප්‍රදේශ සඳහා පැළ සකස් කර ඇති හෙක්ටයාර 3000ක වන වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය විය.

නැවත වන වගාව සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරන තුරු තාවකාලිකව ගොවීන් වෙත වගා කිරීම සඳහා බෙදා දීමට නියමිත ඉතිරි හෙක්ටයාර් 5000 ක ඉඩම් පිළිබඳ ගැටලූව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

තාවකාලිකව ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඒ අනුව අදාළ සියලුම රේඛීය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *