ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. ඒ අනුව පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසා සිටියි.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකිර්ණයේ ඇති සමස්ථ තෙල් ටැංකි සංඛ්‍යාව 99ක් වන අතර එහි ගබඩා කළ හැකි ඉන්ධන ධාරිතාව ටොන් 999,000කට ආසන්නයි. එම ධාරිතාව මගින් මෙරට මාස දෙකක පමණ ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණය කළ හැකියාවක් පවතී.
මෙම තෙල් ටැංකි සංකිර්ණයේ ඉහල සහ පහළ කොටස් වශයෙන් කොටස් දෙකක් පවතින අතර ඉහළ කොටසෙහි තෙල් ටැංකි 84ක් පවතිනවා. පහළ කොටසෙහි ඇති තෙල් ටැංකි සංඛ්‍යාව 15ක් වන අතර එම තෙල් ටැංකිවල මෙහෙයුම් සිදු කරන්නේ ඉන්දීය තෙල් සමාගමයි. ඒ, 2003 වසරේ එළැඹි ගිවිසුමකට අනුවයි. එහිදී එම තෙල් ටැංකි අයී ඕ සී සමාගමට වසර 35ක් සඳහා බදු දී ඇත්තේ වසරකට එක් ටැංකියක් සඳහා අමෙරිකානු ඩොලර් දහසක මුදලකට බවයි වාර්තා වන්නේ.