ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්, මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පුබුදු ජයගොඩ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403/53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න. ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම කිසිදු අමාත්‍යාංශයකටවත් පවරලා නෑ.
අපි දන්නවා ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ අවුරුදු 5ට අඩු අඩු බර සහිත දරුවන්ට, නිරක්තියෙන් පෙළෙන ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මවුවරුන්ට. එතකොට ත්‍රිපෝෂ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වා ගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුණෙත් අත්‍යවශ්‍ය මහජන සේවාවක් නිසා.
රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ත අවශ්‍යතාවයෙන් 70%යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය 100% දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. ඒ වැඩි නිෂ්පාදනය රජය මැදිහත් වෙලා සුපෝෂ නමින් වෙළෙඳ පොළට දානවා. මේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාලා මාස තුනක් ඇතුළත වෙළෙඳ පොළේ වැඩියෙන්ම අලෙවි වෙන සීරියල් ආහාරය වුණේ සුපෝෂ.
දැනට සමස්ත සීරියල් වෙළෙඳ පොළ අවශ්‍යතාවයෙන් 70%ක් සපුරන්නෙ සුපෝෂ. එතකොට ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයලා දෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිපෝෂ සමාගම රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව උපයා දෙන ආදායම රුපියල් මිලියන 500ක් විතර වෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ කියන එකයි.”