මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ ලේ පැල්ලම් සහිත කඩු කිහිපයක් සමග නවතා තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ත්‍රීරෝද රථයේ තිබී කඩු තුනක්, යකඩ පොල්ලක්, මන්නයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සමග මෙම සැකකරුවන් මුල්ලේරියාව පොලිස් භාරයට ගෙන ඇත.
මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අදාළ ත්‍රීරෝද රථය පිළිබඳව සැකසිතී සිදුකළ පරීක්ෂාවේදී මෙම ආයුධ හමු වී ඇති අතර අදාළ ත්‍රීරෝද රථයෙහි පුද්ගලයින් හයදෙනෙක් ගමන් කර තිබූ බවද පොලීසිය පවසයි.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අනෙකුත් පොලිස් නිලධාරීන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන සිදුකළ පරීක්ෂාවේදී සැකකරුවන්ගේ ශරීරයේ සඟවා ගෙන තිබූ ජීව අත් බෝම්බ සහ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගත් බවද මුල්ලේරියාව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවිඩයක් අනුව අනාවරණය වී ඇත්තේ පිංතාලිය හන්දියේ බටකැටිය පටුමගේ නිවසකට අනවසරයෙන් පිරිසක් ඇතුළු වී ඇති බවටය.
එහිදී එම නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගොස් ඇති බවත් පසුව එම පුද්ගලයා නිවසේ නොසිටීම හේතුවෙන් ඔහුගේ පියාට බරපතළ තුවාල සිදුකර නිවසටද දැඩි හානි සිදුකර ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති බව ද අනාවරණය වුණි.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, කඩුවෙල දෙසට යෑමට පැමිණි බවත් පාර වැරදීමෙන් මුල්ලේරියාවට පැමිණි බවත්ය.
වැඩිදුර විමර්ශනයේ දී හෙළිවී ඇත්තේ, ඝාතනය සඳහා ඉලක්කය වු පුද්ගලයා මීට දින දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට ඇප ලැබී පැමිණි පුද්ගලයකු වන බවය.
එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදි සිට ඇති අතර, මොවුන් දෙපිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මෙම සිද්ධියට මූලික වී ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.