නිසි පරිදි රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ ප්රමුඛ පෙළේ පෞද්ගලික හෝටලයක අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් මෙම සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් තම ස්ථාවරය හිටපු අමාත්යවරයා තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව, පසුගිය ඔක්තෝබර් 23 වැනිදා හිටපු අමාත්යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
හෝටල් රථගාලෙන් හමුවූ කළු පැහැති BMW රථය
පසුගිය ජනාධිපතිවරණයට දිනකට පෙර කොළඹ ප්රදේශයේ හෝටලයක WP C 24-0430 දරන ලියාපදිංචි අංකය සහිත කළු පැහැති BMW රථයක් නවතා තබා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරක් ලැබී තිබිණි.
එම රථය හෝටලයේ ගාල් කළ පුද්ගලයාගෙන් පොලිසිය ප්රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ, එය ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට අයත් එකක් බවත්, ඔහුගේ රියැදුරු විසින් එය හෝටලය වෙත රැගෙන ආ බවත්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රථය පරීක්ෂා කිරීමේදී හිටපු අමාත්යවරයාට අයත් ලියකියවිලි කිහිපයක් හමුවුවද, රථයේ ලියාපදිංචියට අදාළ කිසිදු නීත්යානුකූල ලේඛනයක් එහි තිබී හමුවී නොමැත.
ව්යාජ අංක තහඩු සහ හොරෙන් එකලස් කිරීම්
සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ BMW රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය නාවල ප්රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් එකක් බවයි.
එමෙන්ම, මෙම රථයේ චැසි අංකයට අදාළව කිසිදු වාහනයක් ශ්රී ලංකා රේගුව හරහා නීත්යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව රේගු දෙපාර්තමේන්තුවද තහවුරු කළේය. අනතුරුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විධිමත් පරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම රථය නීතිවිරෝධී ලෙස මෙරටදී කොටස් එකලස් කර සකසන ලද්දක් බවයි.
එංගලන්තයෙන් සොරකම් කළ රථයක්ද?
පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළිවී ඇත්තේ, 2021 වසරේදී එංගලන්තයේදී සොරකම් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ මෙම රථයේ චැසි සහ එන්ජින් අංක අතර සෘජු සබඳතාවක් පවතින බවයි.
ජර්මනියේ නිෂ්පාදනය කර එංගලන්තයේ ගැනුම්කරුවෙකු වෙත අලෙවි කර තිබූ අදාළ රථය එක්සත් රාජධානියේදී සොරකම් කර ඇති බවට වාර්තා වී තිබූ අතර, මෙරටින් හමුවූ රථයේ චැසි හා එන්ජින් අංක ඊට සමාන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


