තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තාවකාලික වර්ධනයක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකිය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි ඇදහැලමින් පවතින අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 98ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල, කැටන්දොළ ප්‍රදේශයෙනි.
පවතින අයහපත් කාලගුණයෙන් පවුල් 552කට අයත් පුද්ගලයින් 1852 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පසුගියදා නායයෑමට ලක්වූ කොස්ලන්ද, කැලිපනාව ගම්මානයේ බටහිර දෙසට මායිම්ව පිහිටි කොටබක්ම ප්‍රදේශයේ මීට දින තුනක සිට නායයෑමක් වාර්තාවෙයි.
මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින නිවාස 6ක පදිංචිකරුවන් තාවකාලිකව ඉවත්කර තිබේ.
මේ අතර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කලුගඟේ කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල, ඇටඹගස් හන්දිය, පරගොඩ යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමනයට බාධා සිදුව තිබේ.
මේ අතර බදුරලියට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මඟුරු ගඟ පිටාර ගැලීමෙන් උඩුකුඹුර, මිදලන, මොරපිටිය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවූ අතර මතුගම කලවාන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල විය.
ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි සමග නිල්වලා ගඟ සහ එහි අතු ගංගාවක්වන කිරමආර ඔය පිටාර ගලා ඇති අතර මාකඳුර, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
එමෙන්ම කිරම ආර ඔයේ ඉවුර කඹුරුපිටිය සපුගොඩ ප්‍රදේශයෙන් කැඩි යාම නිසා කුඹුරු අක්කර රැසක් විනාශ වී ඇත.
ලේනබටුව වැව මෙම වර්ෂයට දස වන වරටත් ඊයේ සිට වාන් දැමීම හේතුවෙන් කඹුරුපිටිය – අකුරැස්ස මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවිය.
මේ අතර මාතරට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිවිසුම් මාර්ගය සහ අවට කුඹුරු අද මෙලෙස ජලයෙන් යටවිය
එමෙන්ම ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු වැසි හේතුවෙන් මේ වන විට ගිංගඟ බද්දේගමින් පිටාර ගැලීමත් සමග ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ අතර බදුල්ල, කළුතර, මහනුවර, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ12 ක් සඳහා නිකුත් කළ දෙවැනි මට්ටමේ නායයෑම් අනතුරු නිවේදන හෙට පස්වරුව දක්වා තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.