ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු මෙන්ම කළ ක්‍රියාවක් ලෙස දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඩිජිටල් අපනයන මත සියයට 15 ක බදු පැනවීම රට ඩිජිටල්කරණයට ගෙනයෑමට අවශ්‍ය මෙවැනි අවස්ථාවක කළ මෝඩ ක්‍රියාවක් බව කී කාරියවසම් මහතා රටට ඩොලර් ලැබෙන ආර්ථික ක්‍රමවේදයන් මාරා දැමීමට කළ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ බොරුවෙන් බලය ලබාගත්ත ද බොරුවෙන් රට පාලනය කළ නොහැකි යැයි මෙවැනි ක්‍රියාවලින් පැහැදිළි වන බවත් මෙරට ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වී සිටින කීපදෙනාත් ඉන් ඉවත්වීමෙන් රටට විදේශ විනියම එන ක්‍රමයන් අවහිරවීමේ අවදානමක් ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
වර්තමාන රජය බලයට ගෙනඒමට වැඩියෙන්ම වැඩ කළ තරුණ පරපුරට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට පහරදීම ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් ජනාධිපති අනුර ක-ුමාර මහතා ඇතුළු ආණ්ඩුවේ පුද්ගලයන් පැතිරවූ බොරු වැඩි ප්‍රමාණයක් ටික්ටොක් සහ යූටියුබ් ආදි මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත් ඒ මහතා කීය.