ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලොව පුරා වීසා අයදුම්කරුවන් සඳහා පැවැත්වීමට නියමිත වීසා හමුවීම් තාවකාලිකව කල් දැමීමට පියවර ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය යටතේ ඇමරිකානු රජය ක්‍රියාත්මක කරමින් සිටින දැඩි ආගමන පාලන වැඩපිළිවෙළ අතරතුරය.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු අඟහරුවාදා (25) සඳහන් කළේ ලොව පුරා පිහිටි සියලුම ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාලවල ගෝලීය පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. එම පුහුණුව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වීසා සේවා සඳහා වෙන්කර ඇති හමුවීම් කාලසටහන් සංශෝධනය කරන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පුහුණුවේ නිශ්චිත අන්තර්ගතය හෝ එය කොපමණ කාලයක් පැවැත්වේද යන්න පිළිබඳව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුර විස්තර ලබාදී නොමැත.
නව පුහුණුවේ අරමුණ වීසා අයදුම්කරුවන් අතරින් ඇමරිකානු රජයේ මහජන සුබසාධන ප්රතිලාභ මත යැපීමට ඉඩ ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට සහ වීසා අයදුම්කරුවන්ගේ සුදුසුකම් “පුළුල්ව හා අඛණ්ඩව” ඇගයීමට කොන්සියුලර් නිලධාරීන්ට සහාය වීම බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Financial Times වාර්තාවකට අනුව, දැනටමත් වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවන් වෙන්කරගෙන සිටි ඇතැම් ආගමන වීසා අයදුම්කරුවන්ට ඔවුන්ගේ හමුවීම් නැවත කාලසටහන්ගත කරන බව දැනුම් දී ඇති අතර, නව දිනයක් පසුව දැනුම් දෙන බව සඳහන් කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට විශාල පරිමාණ පිටුවහල් කිරීම් සහ දැඩි ආගමන පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, වීසා සහ ග්‍රීන් කාඩ් අවලංගු කිරීම මෙන්ම විවිධ හේතු මත වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමද එයට ඇතුළත් වේ.
දේශපාලන මතවාද සහ ඇමරිකාවේ මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි පලස්තීන හිතවාදී විරෝධතාවලට සහභාගී වීම වැනි කරුණුද ඇතැම් අවස්ථාවලදී වීසා සහ ආගමන තීරණ සඳහා සලකා බලා ඇති බව වාර්තා වේ.
ට්‍රම්ප් පවසන්නේ මෙම දැඩි ක්‍රියාමාර්ගවල අරමුණ ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව ශක්තිමත් කිරීම බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ ආගමන ප්‍රතිපත්තිවලට එරෙහිව නීතිමය අභියෝගද එල්ල වී තිබේ. පසුගිය සිකුරාදා ඇමරිකානු විනිසුරුවරයෙකු රටවල් 75ක අයදුම්කරුවන් සඳහා ආගමන වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයක් අවලංගු කරමින්, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට ලබාදී ඇති නීතිමය බලතල ඉක්මවා ගොස් ඇති බව තීන්දු කළේය.
මානව හිමිකම් සංවිධාන ට්‍රම්ප්ගේ ආගමන පාලන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින්, එය වෙනස්කම් කිරීමක් වන අතර නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ නිසි නීතිමය ක්‍රියාවලිය උල්ලංඝනය කරන බව පවසයි.
2024 ජනාධිපතිවරණ ප්‍රචාරණයේදී ට්‍රම්ප් නීති විරෝධී ආගමන වැළැක්වීම ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කළද, ඔහුගේ පරිපාලනය නීත්‍යානුකූල ආගමනයද වඩාත් දුෂ්කර කරමින් සිටින බව වාර්තා වේ. ඇතැම් රැකියා වීසා සඳහා අයදුම්කරුවන්ගෙන් නව සහ ඉහළ ගාස්තු අය කිරීමද ඊට උදාහරණයකි.


