ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත්

ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 57 වන වරට සංවිධානය කර තිබුණි.

දිවයිනේ නන් දෙසින් පැමිණි ගොවි ජනතාව අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *