ශ්‍රී ලංකාවේ 8වැනි ජනපතිවරණයට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන නොවැම්බර් 16 වැනිදාට ජනපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කරමින් පවතී. මේ අතර පසුගියදා ජනපතිවරණයට දින නියම කිරීමත් සමග හදිසියේම කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබිණි.
කාගේත් අවධානය හදිසි කැබිනට් රැස්වීමට යොමුවූ අතර එහිදී විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ආ බවත් ඊට අති බහුතරය අකමැති වූ බවත් සඳහන් විය. මෙය අගමැති රනිල් වික්‍රමසිංහගේ කූඨ උපක්‍රමයක් බවට බොහෝ දෙනා එළිපිටම චෝදනා කළහ. විශේෂයෙන්ම රවුෆ් හකීම් ඇමැතිවරයා කැබිනට් රැස්වීම අවසන් වී එළියට පැමිණ මාධ්‍ය අමතමින් අගමැතිවරයාට චෝදනා එල්ල කළේය. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාසට මෙය මරු පහරක් ලෙස පෙනිණි. නමුත් අවසානයේ අගමැතිවරයා බලාපොරොත්තු නොවූ අයුරින් එම යෝජනාවට බහුතර අකමැත්ත මෙන්ම අගමැතිවරයාට තිබූ යම් තරමක හෝ ප්‍රසාදයද අඩු කරවීමට සමත්වූ යෝජනාවක් බවට එය පත්විය.
මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ කිසිවක් දැන සිටියේ නැත. නමුත් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමත් සමග එම ආරංචිය ලද ඔවුහු එයින් කලබලයට පත් නොවුණු අතර එය පරාජය වන්නක් බව හොඳින්ම දැන සිටියහ.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ වනවිට ගිරයට හසුවී සිටින බව ඉතා පැහැදිලිය. සජිත් ප්‍රේමදාස ජනපතිවරණයට ගෙන ඒම වෙනුවෙන් පක්ෂයේ අති බහුතරය මෙන්ම සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂද ඔහුට එල්ල කරන බලපෑම දැඩිව පවතී. නමුත් තමාට තනතුරු සියල්ල අහිමිවනු බවට ඇති ළතැවිල්ල හේතුවෙන් අගමැතිවරයා තවමත් සිටිනුයේ අතීරණයකය. එසේම කථානායක කරු ජයසූරියද ජනපතිවරණ සටනට ගෙන ඒමේ උත්සාහය හරහා එජාපය තවත් බෙදීමකට ලක්වී ඇත.
මේ සියලු තර්ජන, ගර්ජන, කෙනෙහිලිකම්, පාවාදීම්, රහස් සාකච්ඡා අතරේ එජාපය අවසන් තීරණයක් ගැනීමට නොහැකිව පසුබසිද්දී විපක්ෂයේ දේශපාලන නායකයින් තම අරමුණු කරා ක්‍රමයෙන් ළඟා වෙමින් සිටිති. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිවාදීන් ගැන තැකීමක් නොකර සිය ජනපතිවරණ අපේක්ෂා ජනතාවට හෙළිකරමින් තමාගේ ඉලක්කයන් වෙත ගමන් කරමින් සිටී. ඔහුගෙන් ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර, වාග් ප්‍රහාර එල්ල නොවනා තරම්ය. ඒ වෙනුවට ඔහු සිය වේදිකාවේ කතා කරනුයේ තමාගේ අභිමතාර්ථ, ඉදිරි දැක්ම හා ඉදිරි වැඩපිළිවෙළවල් සම්බන්ධයෙනි. ගෝඨාභය මහතාට කථාකිරීමට තමා කළ දේවල් බොහොමයක් ඇත. ඒ ඔස්සේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමේ දැක්මක් ඔහු සතුව ඇති බව පෙන්වා දිය හැකිය. වියත් මග වැනි විද්වත් කථිකාවන් ඊට යොදාගනිමින් සිය ජනපතිවරණ අපේක්ෂා ඔහු ක්‍රියාත්මක කරමින් සිටී. තමා වටා සිටින විවිධ පුද්ගලයින් සමාජයෙන් ඇතැම්විට ප්‍රතික්ෂේප වූවන් වුවද ගෝඨාභය මහතා සිය අරමුණු කරා තනිව ගමන් කරන අයුරක්ද දැකිය හැකිය. එය දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා ධනාත්මක ලක්ෂණයකි.
රජයට විරුද්ධ අනෙක් බලවේගය බවට පත්ව ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ වනවිට සිය ජනපතිවරණ ඉලක්ක පැහැදිලි කරමින් යන අයුරක් දැකිය නොහැකිය. ඔහු සිය ඡන්ද පදනම වැඩිකර ගැනීමේ උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණද ඒ සඳහා නිසි ඉලක්කයක් දක්නට නොලැබේ. අපේක්ෂකයා නම් කිරීමෙන් පසු යම් උණුසුමක් දක්නට ලැබුණද මේ වනවිට වෙනත් විකල්ප අපේක්ෂකයන් ගණනාවක් කරළියට පැමිනෙමින් සිටීම හේතුවෙන් අනුර කුමාර දිසානායකට ඇති විකල්ප ඡන්ද ප්‍රතිශතයේ මට්ටම මේ වනතුරු නිශ්චිතව උපකල්පනය කිරීමේ හැකියාව අවමය.
මධ්‍යස්ථ මතධාරින්ගේ මෙන්ම ආණ්ඩු හා එජාප විරෝධීන්ගේ ඡන්ද පදනම මෙවර ජනපතිවරණයට තීරණාත්මක සාධකයක් වී තිබේ. එබැවින් විකල්ප අපේක්ෂකයින් ඇතැම් දෙනා ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඡන්ද කැඩීමේ අභිලාෂයෙන් කටයුතු කරන අයුරු දැකිය හැකිය. විවිධ නම් යෝජනා කරමින් විකල්ප ඡන්ද ගොඩ තර කිරීමට මේවනතුරු උත්සාහ කළද ඒ සඳහා නිසි නායකත්වයක් තවමත් ලැබී නොමැති බව පැහැදිලිය. එම නම් අතර සිටි නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත, ශිරානි බණ්ඩාරනායක, අජිත් කොලොන්නේ වැනි අයගේ ඇතැම් සිද්ධීන් හා ඔවුන්ගේ ඉලක්කයන් ජනතා අප්‍රසාදයට ලක්වෙමින් පවතී. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ නමද කියවෙන්නේ මේ අතරය. නමුත් තවමත් ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වන බවට නිශ්චිතව සඳහන් කර නැත. ඒ සඳහා ඇති ඡන්ද පදනමක්ද මේ වනතුරු නොපෙනේ.
මීළඟ ආණ්ඩු විරෝධී මෙන්ම එසේ නොවන යන දෙකම අතර දෝලනය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අවසන් ස්ථාවරය ප්‍රකාශ කර නැත. නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන යළිත් තරග කිරීම සිදු නොවිය හැකි මට්ටමේ පවතින අතර ශ්‍රීලනිප ඇතැමුන්ගේ කඹ ඇදීම් හේතුවෙන් පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමද කල්යමින් පවතී. පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරසිටියේ තමා සහ ජනපති ඒ ගැන බලාගන්නා බවත් සෙස්සන්ගේ අදහස් ගණන් ගත යුතු නැති බවත්ය. ශ්‍රිලනිප බොහෝ පිරිසක් ගෝඨාභය වටා සිටින බැවින් ඔවුන්ගේ ඡන්ද පදනම ජනපතිවරණයට විශාල බලපෑමක් කළ හැකි තත්ත්වයක නැති බව දේශපාලන විචාරකයින්ගේ අදහසවී තිබේ.
ඒ අනුව මාස දෙකකටත් අඩු කාලයකදී මෙරට 8වැනි ජනපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතිද්දී වැඩිම තරගයක් පක්ෂ අභ්‍යන්තරයේ දක්නට ලැබීම විශේෂත්වයකි. එබැවින් තවදුරටත් ජනමතය එහා මෙහා දෝලනය වෙමින් පවතින අතර ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය 50%ක අවම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හෝ තිදෙනා අතර ප්‍රබල තරගයක් ඇතිවනු නොඅනුමානය. මේ වනතුර එජාප අපේක්ෂකයා නම් නොකිරීම නිසා ඇතිවී තිබෙන තත්ත්වයද උණුසුම්කාරී වේ. එළැඹෙන සතියේදී එම අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි අතර ඉන්පසු තත්ත්වය තවත් උණුසුම් අතට හැරෙන බව විශ්වාස කළ හැකිය.
(Image – Daily mirror)