ජනපතිවරණයට සතියයි – තීන්දුව කොයිබටද ?

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ හරියටම සතියක කාලයකි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කෝටි එක හමාරකට ආසන්න ජනතාවට තීන්දුවක් ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් දින 6ක් පමණි. මේ අතර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු එළඹෙන 13 වැනි බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

යම් කිසි පාර්ශවයක් ජනාධිපතිවරණ අපේක්ෂක වන ආකාරයෙන් හෝ කිසියම් අපේක්ෂකයින් අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවුවම් ලැබිය හැකි වරදක් බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි. විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රචාරක කටයුතු 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම ඊයේ(9) අවසන් කෙරුණු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. කිසිවකුට හෝ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණේනම් ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසන ලෙසද දැනුම් දී තිබේ. එසේ නොමැතිනම් ග්‍රාම නිලධාරී හමුවී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති නීත්‍යනුකූල ලියවිල්ලක් ලබාගැනීමටද අවස්ථාව ලබාදී තිබේ.

ජනාධිපතිවරණයට අදාළව ඔක්තෝබර් මස 07 වැනිදා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රචාරක කටයුතු ආරම්භ වු අතර ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර සටන තීව්‍ර වී ඇති ආකාරය දැකිය හැකිය. එසේම තුන්වැලි බලවේගය ලෙස ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද තම ඡන්ද පදනම වැඩිකරගනිමින් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹමින් මංගල ජනරැලිය පැවැත්වූයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තම මැතිවරණ ජන රැලි ආරම්භ කළේ කොළඹ ගෝල්ෆේස් පිටියෙනි. ඒ සඳහා අති විශාල ජනකායක් එක්ව සිටීම විශේෂත්වයක් වුවද ඉන්පසු ජනරැලිවලට සහභාගීවූ පිරිසේ යම් අඩුවීමක් මෙන්ම ඇතැම් ජනරැලිවලදී රනිල් වික්‍රමසිංහට හා දයා ගමගේ වැනි අයට ජනතා විරෝධය එල්ලවන අයුරුද දක්නට ලැබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් ජනරැලිවලදී අති විශාල ජනකායක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම පොළොන්නරුව, නුවරඑළිය සහ වැල්ලවාය යන පෙදෙස්වලදී අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයක් දක්නට ලැබීම සුවිශේෂී විය. නමුත් ජන සහභාගීත්වයෙන් ජයග්‍රාහකයා මැනීම එතරම් සාර්ථක දෙයක් නොවන බව ප්‍රවීණ දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත්වන පළමු ජනපතිවරයා ලෙස අභියෝග රැසකට මුහුණදීමට මෙවර ජනපතිවරණ ජයග්‍රාහකයාට සිදුවනු ඇත. ජනතාවට සිය පණිවිඩය ගෙනයාමට ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ අවධානය යොමුකළ ප්‍රධාන අපේක්ෂකයින්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා කලින්ම සිය ප්‍රතිපත්ති එළිදැක්වුවද සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූයේ තැපැල් ඡන්ද දායකයින්ගෙන් අඩක් පමණ සිය ඡන්දය භාවිතා කළායින්ද පසුවය. අනෙක් අපේක්ෂකයින් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ බලා ඒවාට අනුරූපව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සෑදීමට ඔහු යොමුවීම ඊට හේතුව බව බොහෝ පිරිස් කියා සිටිති.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් මේ වන විට ඔවුන්ගේ ජය තහවුරු කිරීමේ අවසන් රැලි පවත්වමින් සිටින අතර හවුල්කාර පක්ෂ ද දිවයින පුරා ජන හමු පවත්වමින් සිටියි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවසන් රැලිය පැවැත්වීමට කැස්බෑව නගරය තෝරාගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතා සිය අවසන් රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ මරදානේදීය. අනුර කුමාර දිසානායක මහතා අවසන් රැලිය මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙතෙක් ප්‍රධාන අපේක්ෂකයින් සිය වේදිකාවේදී ජනතාවට පොරොන්දු රාශියක් ලබාදෙමින් සිටී. මේ අතර මඩ ප්‍රචාර හා ප්‍රතිවාදී අපේක්ෂකයා ඉලක්ක කරගෙන සිදුකරන විවිධ බොරු ප්‍රචාරද මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට එක්කරගෙන තිබෙනු දක්නට ලැබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම චෝදනා කළේ සිය අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන විවිධ මඩ වීඩියෝ සහ මඩ ප්‍රචාර එල්ල කිරීමේ සූදානමක් එජාප පාර්ශ්වයෙන් ඇති බවයි. ඒ අනුව ඇතැම් විට අවසන් දින කිහිපයේ එසේ මඩ ප්‍රචාර කරළියට පැමිණීමේ අවස්ථාව තිබේ.

කෙසේ නමුත් සමස්ථ ශ්‍රී ලාංකිකයින් මේවනවිටත් සිය ඡන්දය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කර අවසන් බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි. ඒ අනුව කුමන පොරොන්දු, මඩ සූදානම් වුවද ජනතාව සිය ඡන්දය තමාගේ අපේක්ෂකයා වෙනුවෙන් එළැඹෙන සෙනසුරාදා(16) භාවිත කරනු ඇත. ඒ අනුව 17වැනිදා හෝ 18වැනිදාට මෙරට හත්වැනි විධායක ජනපති කවුරුන්ද යන්න රටම දැනගනු ඇත. එසේ තේරී පත්වන ජනපතිවරයාට මැතිවරණය ජයගැනීමට කළ සටන මෙන් දෙගුණයක සටනක් රට හමුවේ ඇති අභියෝග ජයගනිමින් ස්ථාවර රටක් ගොඩනැගීමට හා ජනතාවට වූ පොරොන්දු ඉටුකරමින් ඉදිරි පස් වසරක කාලය තුළ රට ස්වයංපෝෂිත කිරීම වෙනුවෙන් සිදුකළ යුතුව ඇත.

 

17 Comments

Leave a Reply

Your email address will not be published.