ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ(15) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමේදී විශාල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබූ අමාත්‍යවරුන් ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලීමේ ගැටළුව අද සිට අවසන් වනු ඇති බවත් කප්පම් ගසන අමාත්‍යවරුන් තවදුරටත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ නොසිටිනු ඇති බවත් ඔහු පැවැසුවේය.
රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ දූෂණ හා වංචා ක්‍රියා කලාපයන් පහළ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන්ටද හේතු වන බවත් සැමටම අවස්ථාවක් ලබාදිය යුතු බැවින් ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්තියට අනුගත වීමට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට අවස්ථාව දෙන බවත් සිල්වා මහතා පැවැසුවේය. එසේ අවස්ථාව ලබාදුන් පසුව ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්තියට අනුගත නොවන ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. “මාළුවා කුණු වන්නේ ඔලුවේ සිට යැයි” සිල්වා මහතා එහිදී පැවැසුවේය.
ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය තැන්හි ජනමත විචාරණයකට පවා යෑමට ජාතික ජන බලවේගය පසුබට නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙවර මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජනතාව ලබාදුන් තුනෙන් දෙකකටත් වඩා වැඩි බලය ජනතාවගේ මුදලින් දේශපාලකයන් යැපෙන ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් රට ගොඩ නැගීම සඳහා යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.මෙවැනි විශාල බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙමින් ජනතාව පක්ෂය කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා කිරීමට ජාතික ජන බලවේගය උපරිමයෙන් කටයුතු කරන බවද ඔහු පැවැසුවේය.