වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේ ඉඩමක පුපුරන ද්රව්ය සහ තහනම් ද්රව්ය සන්තකයේ තබාගැනීම හා එක්රැස් කිරීම ඇතුළු චෝදනා පහකට වරද පිළිගත් මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය.
කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ තුන්වැනි විත්තිකරු වන 63 හැවිරිදි මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ තමන්ට එරෙහිව එල්ල කර තිබූ අධිචෝදනා පහටම වරද පිළිගත්තේය.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාව සඳහා වසර 12 බැගින් වූ සිරදඬුවම් නියම කරන ලදී. එම දඬුවම් සියල්ල එකවර ගෙවී යා යුතු බවට නියෝග කෙරුණු අතර, ඒ අනුව විත්තිකරුගේ සමස්ත සිරදඬුවම් කාලය වසර 12ක් වේ.
සිරගතව සිටි කාලය අඩු කෙරේ
විත්තිකරු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ හා රැඳවුම් නියෝග යටතේ ගතකර ඇති වසර හතහමාරක කාලය මෙම සිරදඬුවමෙන් අඩු කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ අනුව ඔහුට තවදුරටත් සිරගතව සිටීමට සිදුවන්නේ වසර හතරහමාරක පමණ කාලයකි.
දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීම මඟහරිමින් විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම, ඔහුගේ වයස සහ අනෙකුත් විශේෂ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම තීන්දු කළ බව විනිසුරු මඩුල්ල ප්රකාශ කළේය.
‘සජිත් මව්ලවි’ගේ ස්ථාවරය හෙට
මේ අතර, නඩුවේ හයවැනි විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සජිත් හෙවත් ‘සජිත් මව්ලවි’ තමන් චෝදනාවලට වරද පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ අධිකරණයට දැනුම් දීම සඳහා කල් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුව අද පෙරවරු 8.00ට යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, හෙට පෙරවරු 7.45 වන විට එම විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
මීට අමතරව ‘ගෆූර් මාමා’ නමැත්තාට එරෙහිව කෑගල්ල සහ මඩකලපුව මහාධිකරණවල විභාග වන සෙසු නඩු දෙක සඳහා ඔහුව ඉදිරිපත් කිරීමේදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
වනާތවිල්ලුව පුපුරන ද්රව්ය සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නඩු පවරා තිබිණි. ඉන් විත්තිකරුවන් පස්දෙනෙකුම මේ වන විට වරද පිළිගෙන දඬුවම් ලබා ඇති අතර, තීරණය ප්රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ හයවැනි විත්තිකරු පමණක් බව අද දින අධිකරණයේදී අනාවරණය විය.


