වීසා බලපත් නොමැතිව ජංගම දුරකථන 436 ක් සහ පරිඝණක උපාංග රාශියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටී චීන ජාතිකයින් විසි දෙදෙනකු හට පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ විස්සක දඩ නියම කලේය.
මෙසේ දඩ නියම කෙරුණේ චාඕ ලී, ජියූෆෙන් යූ, ඩවේ කායි, ගුන්ග්මින් වූ, බිආඕ ෂෙන්ග්, බාඔහොන් ලියූ, පින්ග් වෙන්, යෑන් ෆෑන්, ලිංග්ෆීන් වෙන්, සියෝන්ග්ෆි ලී, යු ඈන්ග්ලී යෑන්ග්, කොන්ග් ෂේන්, යූ ටෑන්, ෂින්ග් ෂොයූ, හයිලොන්ග් වැන්ග්,කයියාන් ෂේන් , ක්වින්ග් ෂාහූ, ලොන්ෆා ලියෑන්ග්, සයිබාඕ හී සහ ජූන් ෆෙන්ෆ් නැමැති චීන ජාතිකයින් පිරිසකි.
සැකකාර චීන ජාතිකයින් විසි දෙනා වලංගු වීසා බලපත් නොමැතිව පානදුර ගොරකාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඉකුත් ඔක්තෝබර් 9 දින ජංගම දුරකථන 436 ක් සහ පරිඝණක උපාංග තොගයක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි .
සැකකරුවන් ව්සි දෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප විස්සක් සහ රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප මත මුදාහරින ලෙසත් , නඩු කටයුතු අවසන් වන තෙක් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් තහනම් කරන ලෙසත් ආගමන හා විගමන පාලක වරයාට මහේස්ත්‍රාත් වරයා නියෝගයක්ද නිකුත් කරන ලදී.
සැකකරුවන් භාරයේ තිබූ ජංගම දුරකථන සහ පරිඝණක උපාංග මොරටුව විශ්ව විද්‍යාලය වෙත ඉදිරිපත් කර , කිසියම් මූල්‍ය අපරාධයක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ලබගැනීමට අවසර ලබාදෙන මෙන් පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා විසින් කල ඉල්ලීමට ගරු අධිකරණය අවසර ලබාදෙන ලදී.
පොලිසිය වෙනුවෙන් පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් සහ කොස්තාපල් සුමිත් පුෂ්පකුමාර (32119) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. නඩුව ලබන ජනවාරි 17 දා යලි කැදවීමට නියමිතව තිබේ.