ගෝඨාගේ නඩුව අත්හිටුවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් 1 වැනිදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය ලබාදී ඇත.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇති අතර එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙන ම  ප්‍රතික්ෂේප කළේය. එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට  ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්කි විභාගය අත් හිටුවන ලෙස නියෝග කළේය.

(උපුටා ගැනීම – අද දෙරණ / Image – reason.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *