LK reports news sinhala

ගෝඨාගේ ආරක්ෂාවට ස්වේච්ඡා බළඇණියක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බළඇණියක් ඉදිරි මැතිවරණ කාලයේදී යෙදවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නිත්‍යනුකූලව ඉවත්වූ  නිලධාරින් ආසනයට පස්දෙනා බැගින් යොදවා මෙම බළඇණිය සකස් කරන බව පැවසේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඒ ආසනවලට පැමිණීමේදී ඔහුගේ නිත්‍ය ආරක්ෂක නිලධාරීන්ට විවිධ අන්දමින් සහාය දීම මෙම බළඇණියට පැවරෙන ප්‍රධාන වගකීම වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ප්‍රමාණවත්  ආරක්ෂාවක් මේ දක්වා ලැබී නැති බවත් මේ තත්ත්වය යටතේ ඒ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ ඉහළ නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන බවත් පොදුජන පෙරමුණ පවසයි.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ගැන පක්ෂයේ සියලුම ආසන සංවිධායකයන් දැනුවත් කරනු ලැබ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග යුද හමුදාවේ එකට  සේවය කළ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළට ස්වේච්ඡාවෙන්ම එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන  යෝෂිත රාජපක්ෂ මහතාද කටයුතු කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණු ආරංචි පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ලබන 11 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. එදින සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ජනතා පිළිගැනීම්ද පැවැත්වීමට නියමිත අතර  ඒ සියලු අවස්ථා සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමේදී මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

(උපුටා ගැනීම – gossiplankanews.com / Image – Colombo Telegraph)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *