වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කර ඇතත් දකුණු පළාතේ හැර අනෙක් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී නොදෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
රජය විසින් පනවන ලද උපරිම මිල යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබෙන නමුත් දැනට වෙළෙදපොලේ වී මිල 110-115 බැගින් ඉහල ගොස් ඇති නිසා රජයේ සහතික මිලට වී අලෙවි කිරීමට ගොවීන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඉද්දමල්ගොඩ මහතා කීය.
සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක් බැගින් විවෘත කර ඇතත් හම්බන්තොට හැර අනෙක් කිසිදු ගබඩාවකට මේ වන තෙක් වී ඇටයක් හෝ ලැබී නැති බව සභාපතිවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රතු නාඩු වී මිල දී ගැනීම ආරම්භ කළ නිසා වී කිලෝ ග්‍රෑම් 75,000ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇත.
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය.
ඊට මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා දී නොමැති නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක් ලබා ගැනීමට නියමිත අතර ඉන් මිලියන 100ක් මේ වනවිට ලබා දී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.