ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට රතු එළියක්

තමන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් අයවැයෙන් නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.

වැටුප් විෂමතාවයට හා දෙමාපියන්ට අධ්‍යාපනයේ බර දැරීමට සිදුව තිබීම යන මුලික ගැටලුන්ට විසඳුමක් අපේක්ෂාවෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ, එළැඹෙන දෙසැම්බර් මස 2 වනදා අධ්‍යාපන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එදින පාර්ලිමේන්තුව අසල දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය අමතක කර දැමූ අයවැයක් බවය.

“ගුරු – විදුහල්පති සංධානය හැටියට අපි පැහැදිලිවම බස්නාහිර පළාතේ ගුරුවරු ගෙනල්ලා අනිවාර්යයෙන්ම උද්ඝෝෂණයක් කරනවා අයවැය අධ්‍යාපන විවාදය දවසේ. ආණ්ඩුවට තවත් අවස්ථාව තියෙනවා අයවැය කාරක සභා අවස්ථාව, අයවැය දෙවැනි වර කියවීමට අවස්ථාව තියෙනවා. එහිදී පැහැදිලිවම මෙම ඉල්ලීම් ලබාදිය යුතුයි. එසේ නොවුණොත් අපි අනිවාර්යයෙන්ම අනෙක් ක්‍රියාමාර්ගවලට යනවා. ඒ වගේම අපි 30 වෙනිදා බස්නාහිර හැර සෙසු පළාත්වල කලාප අධ්‍යාපන කාර්යාල ළඟ අපි උද්ඝෝෂණ සංවිධානය කරනවා. අපි දිගටම අඛණ්ඩව මේ උද්ඝෝෂණ මාලාව ගෙනියනවා. ලෑස්ති වෙන්න අපේ අරගලයට මුහුණදෙන්න. මොන අනපනත් ගෙනාවත් අපි අනිවාර්යනේම අපේ අරගලය ගෙනියනවා. මේ අරගලය දරුවන් වෙනුවෙන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *