රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ගේ ගෝලයකු රුපියල් විසිදහසක කොන්ත්‍රාත්තුවකට ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කඩවත, රාගම පාර මංසන්ධිය අසල ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදු කළ වැටලීමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් එහි නවතා පරීක්ෂා කරනු ලැබූ අතර, පැදිකරු සතු ව තිබී, විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබේ.
වෙනත් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා ජීව පතොරම් 4ක් එහි දී සොයාගෙන තිබුණේ, පසුපැදිකරු සන්තකයේ තිබිය දී බව සඳහන්ය.
වයස අවුරදු 29 හා 24 යන වයස්වල සැකකරුවන් මීගහවත්ත හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ගණේමුල්ල සංජීව මෙහෙයවූ ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස කටයුතු කර මේ වන විට ඩුබායීහී සැඟ ව සිටින ශක්ති ලක්රුවන් නමැත්තෙකු ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බව සැකකරුවන් හෙළිකර ඇත.
ලක්රුවන් නමැත්තා කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා ඇති බවත් එය ලබා නොදීම නිසා එම ව්‍යාපාරිකයා හෝ ඔහුගේ කළමනාකරු ඝාතනය කරන්නැයි සැකකරුවන් දෙදෙනාට පවසා ඇති බවත් පොලීසිය හෙළිකරගෙන තිබේ.
ඒ, රුපියල් විසිදහසක කොන්ත්‍රාත්තුවකට බව සැකකරුවන් පොලිසියට පවසා ඇත.
ඒ අනුව මීට දෙදිනකට පෙර එම ස්ථානය පරීක්ෂා කිරීමට මොවුන් දෙදෙනා ගොස් ඇති බවත් ඊයේ ඝාතනය සඳහා යමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ව්‍යාපාරික ස්ථානයට මීටර 300ක් පමණ දුරිනි.
ඔවුන් දෙදෙනාම දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වන අතර, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.