කෝටි 135ක බදු පැහැරහැරි රන්දෙණිගල සමාගම් අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්

රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළේය.

කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සරත් කුමාර විජේවික්‍රම ,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියකට මෙම නියෝගය නිකුත් කළේය .

2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් පවරා තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පියුමි නැමැති අධ්‍යක්ෂකවරිය පමණක් අධිකරණයේ පෙනී සිටියාය .

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ රිසාඩ් අමීන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකරුවන් විසින් නොගොවා පැහැර හරින ලද බදු සතියක් ඇතුලත ගෙවීමට කටයුතු කරන බවය.

කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාල බදු මුදල් ගෙවන්නේ නම් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු ගෙවීම සම්බන්ධයෙන්  අධිකරණ නියෝගය ලබන 17 දින ඉදිරිපත් කරන බවත්,එදිනට වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.

එදිනට පෙර අදාල බදු මුදල් ගෙවන්නේ නම් ඒ පිළිබඳ වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *