කොළඹ වරාය හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක්

කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය.

ආයතනය එම කාලයේදී කෝටි 222ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ලක්මාල් රත්නායක මහතා මෙසේ පැවසුවේ එම ආයතන පරිශ්‍රයේදී පෙරේදා(10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩිවීමෙන් ආදායම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසූ සභාපතිවරයා ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ඉන්ධන ටැංකි දෙකක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

සේවකයන්ට හැකි උපරිම වරප්‍රසාද දීමෙන් ආයතනය ලාභ ලබන තත්වයට ගෙන ආ බවත් අද මෙය විදේශ විනිමය උපයන වරාය අධිකාරියට බරක් නැති ආයතනයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොළඹ වරායට පැමිණෙන සියලුම නෞකාවලට අවශ්‍ය නැව් තෙල් සැපයීම සඳහා ගබඩා පහසුකම් සපයා දෙනු ලබන්නේ තම ආයතනය බව පැවසූ රත්නායක මහතා ආයතනයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් දාන ශීල භාවනාවලට මුල් තැන දෙන වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාශ ප්‍රධානී සුගන්ධිකා ලංසාකාර සහ ඉංජිනේරු කොට්ඨාශ ප්‍රධානී නලින් විදානපතිරණ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *