කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

2021 හා 2024 කාලය තුළදී   හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට   රජයෙන් ගෙවන ලද   වැටුප්  වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව   ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි මහත්මිය  නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළාය.

සැකකාරියා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම සැකකාර සේවිකාව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

සැකකාර කෙහෙළිය  රඹුක්කල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට   ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරු වලට රජයේ මුදලින් වැටුප් ගෙවා රුපියල් ලක්ෂ අසූවකට අධික මුදල්  සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිලි සම්බන්ධයෙන් මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *