කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වලට කඩා පනී

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (13) පෙරවරුවේ පැලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කර තිබේ.

රටේ පොහොර හිඟයක් පැවතිය ද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය මෙහිදී අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇත.

දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් පොහොර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කර තිබේ.

පොරොන්දු වු දින වකවානුවලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේනම් රාජ්‍ය පොහොර සමාගම් මඟින් ඒවා බෙදා හැරීමට පියවර ගැනීමට සිදුවන බව අදාළ සමාගම්වලට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පොහොර මෙට්‍රික්ටොන් 600 නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරින්ගෙන්  ප්‍රශ්න කර ඇත.

පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකාච්ජාවේදී පෞද්ගලික පොහොර සමාගම් දිනකට මෙට්‍රික්ටොන් 1000ක් නිකුත් කිරීමට පොරොන්දු වී තිබුණි.

ඒ අනුව දින 03ක් ඇතුළත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙස සමාගම් නිලධාරින්ට අමාත්‍යවරුන් දන්වා ඇත.

එසේ නොමැති වුවහොත් පෞද්ගලික සමාගම් හරහා සිදුවෙන පොහොර බෙදාහැරීම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරණ ලෙස දන්වා තිබේ.

පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින්ට හා ගොවිජන සේවා නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *