ඔස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ‘බෝන් අගේන්’ ආගමික නිකායේ බලපෑමක් සිදුවී තිබේ දැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම්දී තිබේ.
අදාළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළේය.
ඔස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේ දැයි සොයා බැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කෙරුණු බව පෙත්සම්කරුවෝ කියා සිටියේය.
ඒ අනුව විමර්ශණ සිදු කළ එම කමිටුව ඊට අදාළ නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වාලමින් තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.