ඉන්දියාවට එරෙහි ව ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට්ලෝලීන් දැඩි අප්‍රසාදය පළකරන බව පෙනෙන්නට තිබේ.
එවැනි පසුබිමක පුහුණුකරුවන් ගෙන් සහ තේරීම් කමිටුවෙන් පරාජය ගැන කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළේය.
මේ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දෙන්නේ, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා බහිරවයන් සේ නොසිට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසයි.
මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය පිළිබඳ තිබූ අවසන් බලාපොරොත්තුවත් සමඟින් ශ්‍රී ලංකාව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයට පිවිසුනේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන ඉන්දියා කණ්ඩායම සමඟ තරග වැදීමේ අරමුණෙනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු ගේ කතාබහට ලක්විය.
ඒ, වන්කඩේ ක්‍රීඩාංගණයේ පවත්වා තිබූ එක්දින තරග 25න් 14ක්ම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම විසින් ජයගෙන තිබීම හේතුවෙනි.
තරගයේ කාසිය වාසිය පරාජය වීමෙන් අනතුරු ව ඉන්දීය නායක රෝහිත් ෂර්මා ගේ ප්‍රකාශයෙන් ඒ බව තහවුරු විය.
වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳ හොඳින්ම කියවා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටි මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරද්දීත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර නොදීමට තීරණය කළේ කුමන පදනමක් මත ද යන්න ගැටලුවකි.
කෙසේ වෙතත් සිය නායකයා ගේ තීරණයට සාධාරණයක් ඉටු කළ ඩිල්ෂාන් මධුසංක පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම රෝහිත් ෂර්මා දවාගත්තේය.
නමුත් ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි පිටියේ ලබාදුන් උඩපන්දු දෙක ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යාමේ ප්‍රතිඵලය වූයේ, පීඩනය පෙරළා ශ්‍රී ලංකාව දෙසට හැරීමයි.
මෙවර ලෝක කුසලානයේ දුර්වලතම පන්දු රැකීමේ කණ්ඩායම ශ්‍රී ලංකාව බව සාධක සහිත ව ඔප්පු වන්නේ මෙවර තරගාවලිය තුළ ලබාදුන් උඩපන්දු 22න් 14ක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අත්හැර තිබීම හේතුවෙනි.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
ලකුණු 358ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිමේ පළමු පන්දුවේ සිටම ප්‍රාථමික මට්ටමේ ක්‍රීඩා විලාසයක නිරත විය.
ශ්‍රී ලංකා පළමු පිතිකරුවන් පස්දෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 2ක් තිබිය දී දැවී ගියේ, ජාත්‍යන්තර එක්දින තරගයක දී පළමු පිතිකරුවන් පස්දෙනා රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් ගෙන් පස් දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියේ, ජාත්‍යන්තර තරගයකට කිසිසේත් නොගැළපෙන පිතිකරණයක නිරත වෙමිනි.
ධනංජය ද සිල්වා වෙනුවට කණ්ඩායමට කැඳවූ දුෂාන් හේමන්ත ද මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.
ඉන්දියාව වැනි ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් සහිත කණ්ඩායමකට මුහුණ දීම සඳහා මැදපෙළ නිත්‍ය පිතිකරුවෙකු වූ ධනංජය ද සිල්වා වෙනුවට දඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවීමත් විමතියට කරුණකි.
ඒ අනුව එක්දින ලෝක කුසලානයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දුවාර 19යි පන්දු 4ක දී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කරගත්තේ, ලකුණු 55ක් පමණි.
එය ටෙස්ට් වරම් ලැබූ කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ එක්දින තරගවල දී අතිශය දුර්වල ලෙස ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙය නොවේය.
ආසියානු කුසලාන අවසන් තරගය ද ඇතුළු ව මේ වසර තුළ සිව් වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවල දී ලකුණු 100ට අඩුවෙන් දැවී ගොස් තිබේ.
ශ්‍රි ලංකා කණ්ඩායමට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වූයේ ඇයි ?
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කළේ, තරුණ ක්‍රීඩකයන් සමඟ ඉදිරියට යාමේ ප්‍රතිපත්තිය සමඟයි..
අත්දැකීම් සහිත පරිණත ක්‍රීඩකයන් පසෙකින් තබා වසර එකහමාරක පමණ කාලයක් තරුණ ක්‍රීඩකයන් සමඟ කණ්ඩායම සකස් කළ තේරීම් කමිටුව, එම ප්‍රතිපත්තිය හදිසියේම වෙනස් කරන්නේ, දිමුත් කරුණාරත්න ව නැවත කණ්ඩායමට කැඳවමිනි.
ඉන් නොනැවතුණු ඔවුහූ ලෝක කුසලානය සඳහා තරගාවලිය අතරතුර එක්වරම ඇන්ජලෝ මැතිව්ස් ද සංචිතයට කැඳවූහ.
තරුණ ක්‍රීඩකයන් සමඟ ඉදිරියට යාමේ ප්‍රතිපත්තියට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පයින් ගැසුවේ, තරුණ ක්‍රීඩකයන් සමඟ ඉදිරියට යාම ප්‍රායෝගික නොවන නිසා ද නැති නම් සමාජ මාධ්‍යය සහ අනෙකුත් පාර්ශ්වවලින් එල්ල වූ පීඩනය නිසා ද යන්න සැක සහිතය.
කෙසේ වෙතත් මෙවන් කරුණු පිළිබඳ විමසා බැලීමේ දී මෙවර ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූයේ නිසි සැලසුමක් සහිතව ද යන්න ගැටලුවකි.
ශ්‍රී ලංකාවට එල්ල වූ අනෙක් ප්‍රධානතම අභියෝගය වූයේ, විටින් විට ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමයි.
මෙවර තරගාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධ හේතුවෙන් ක්‍රිඩකයන් තිදෙනෙකු සංචිතයට ආදේශ කර ඇති අතර, තරගාවලියට සහභාගි වී සිටින අනෙක් කණ්ඩායම් 09ම මේ දක්වා ආදේශ කර ඇත්තේ, ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා කිලෝමීටර 02 ධාවන පරීක්ෂණය ඇතුළු තවත් පරීක්ෂණ කිහිපයක් හඳුන්වා දුන්න ද එම පරීක්ෂණ සම්බන්ධයෙන් එල්ල වූ විවේචනත් සමඟ ක්‍රිකට් කළමනාකාරිත්වය ඒවා ද හකුලා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැසී යන ආබාධ වලාවට හේතුව පසුගිය සමයේ ක්‍රීඩකයන් ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම විය හැකිය.
මෙවන් හේතු නිසා ශ්‍රි ලංකා කළමනාකාරීත්වය ස්ථාවර ජාතික කණ්ඩායමක් ගොඩනැගීමට අපොහොසත්ව සිටියි.
තරගාවලියෙන් තරගාවලියට ඉත්තන් මාරු කරන්නාක් මෙන් ක්‍රීඩකයන් ආදේශ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ, ක්‍රීඩකයන් සතු ව ඇති විශ්වාසය ද බිඳ වැටීමයි.
මේ කරුණු විමසා බැලීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය සෘජු තීරණ නොගැනීමත්, එක් ප්රතිපත්තියක සිට කටයුතු නොකිරීමත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද අත් ව ඇති ඛේදනීය ඉරණමට හේතු බව අපට පෙනී යයි.
ක්‍රීඩකයන් ගේ දක්ෂතා දැක ඔල්වරසන් දෙන ක්‍රිකට් ලෝලීන් කණ්ඩායමට අද අත් ව ඇති ඉරණම සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි කලකිරීමකිනි.
මේ අතර, සිවිල් සංවිධාන කිහිපයක් අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් භාර දෙන ලදි.
මේ අතර, ඉන්දියාව හමුවේ ලැබූ පරාජය පිළිබඳ පුහුණුකරුවන් ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සිදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහි දී කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන්හී වගකීම කිසිදු ක්‍රීඩකයෙකු හට පැවරිය නොහැකි බවත් එහි වගකීම වසර 04ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත් අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතු බවයි.
ලෝක ශූරතාවන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට තව දුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා, තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස් විය යුතු බව අවධාරණය කරයි.
ඒමෙන්ම සමස්ත ක්‍රීඩාවට සහ ක්‍රීඩා ලෝලීන් පිළිබඳ සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ක්‍රීඩාවේ ජය පරාජය සාමාන්‍ය දෙයක් වුව ද පරාජයේ ස්වභාවය තරගකාරීත්වය මත තීරණය විය යුතු නොවේ ද?
අප මේ උත්සාහ කරන්නේ, ශ්‍රි ලංකා ක්‍රීඩාලෝලීන් ආගමක් ලෙස අදහන ක්‍රිකට් ක්‍රිඩාව යළි නගා සිටුවීමට සිදු කළ යුත්තේ කුමක් ද යන්න සොයා බැලීමටයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇද වැටී ඇති තැනින් ගොඩගැනීමට කළ යුත්තේ, ක්‍රිකට් ආයතනය විසිරුවා හැරීම ද? තේරීම් කමිටුව වහාම වෙනස් කිරීම ද? කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනස් කිරීම ද? එසේත් නැති නම් නිසි දීර්ඝ කාලීන ප්රතිපත්තියකට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සැලසුම් කිරීම ද?
මේ එම තීරණය ගැනීමට සුදුසුම කාලයයි.