කන්දකාඩුවෙන් පැනගිය පිරිසෙන් කොටසක් අල්ලයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 102 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රැඳවියන් 139 දෙනෙකු පමණ ඊයේ (11) පස්වරුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවය.

තවත් රැඳවියන් 37 දෙනෙකු සෙවීම සඳහා පොලීසිය සහ යුද හමුදාව මෙහෙයුම්වල නිරතවන බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

“කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර යම්කිසි කලබලකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. මෙතෙන දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය තමා පුනරුත්ථාපනයට යොමු කරලා තියෙන්නේ උසාවි නියෝග මඟින්. මේ කලබලය අතර කොටසක් කඳවුරෙන් එළියට පැනලා තිබුණා. හවස 5ට විතර තමා මුල්ම සිද්ධිය වුණේ. ඒ වෙලාවේ තමා කොටසක් පැනලා ගියේ. ඒකෙන් පස්සේ තවත් කොටසක් එළියට පැනලා තිබුණා. 484ක් තමා ඇතුළේ හිටියේ, ඒකෙන් අවස්ථා දෙකේදීම එළියට ගිහින් තිබුණා. අපි යුද හමුදා භටපිරිස් සහ පොලීසිය සෝදිසි මෙහෙයුම් කරගෙන යනවා ඒ අයව නැවත කඳවුරට අරගන්න. කට්ටි කට්ටි බෙදිලා ඉන්නේ. මීගමුවෙන් ආපු අය, කොළඹින් ආපු අය කියලා. ගාල්ලෙන් ආපු අය කියලා. එයාලාගේ පාලනයක් ඇති කරන්න එයාලා ඇතුළේ පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. ඒ තත්ත්වය තුළ තමා මෙය සිද්ධවෙලා තියෙන්නේ.”

වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පසුගිය වසරේ ද පළායාමේ සිදුවීමක් වාර්තා වුණි.

එම මධ්‍යස්ථානයේ රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් ඊට හේතුවී තිබුණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් අධිකරණ නියෝගවලට අනුව අදාළ මධ්‍යස්ථානයේ රඳවා සිටී.

කෙසේවුවද ප්‍රදේශවාසීන් පවසන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට නොයෙකුත් ගැටලු පැවතීම හේතුවෙන් වරින් වර ගැටුම් සහ පළායාම් පිළිබඳ වාර්තා වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *