ඖෂධ වර්ග 300ක හිඟයක්

රෝගීන්ට ලබා දෙන සෝඩියම් බයිකාබනේට්, ඉන්සියුලින් සහ  ඉමියුනොගොලොබියුන් ඖෂධ ඇතුළු ඖෂධ වර්ග තුන්සියයක හිඟයක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේදී ඖෂධ  සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සෞඛ්‍ය සේවාවේ ඇතැම් ඉහළ නිලධාරීන් තවමත් එම නිලතලවල රැඳී සිටින බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජය මහතා සඳහන් කළේය. මේ නිසා සෞඛ්‍ය සේවාවේ සැබෑ ලෙසම පවතින ගැටලුවලට නිසි ලෙස විසඳුම් නොලැබෙන බවත්, මෙය සෞඛ්‍ය පද්ධතියේ අනාගතය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමට විශාල බාධාවක් බවද පවසා සිටියේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලයේදී බාල ඖෂධ නිසා මිනිස් ජීවිත විනාශ වන විට බාල ඖෂධ නැතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ නිලධාරීන් පවා තවමත් අදාළ තනතුරුවල රැඳී සිටින බවද සඳහන් කළේය.

මේ නිසා පසුගිය පාලන කාලයේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් කිරීමට මුල් වූ නිලධාරීන් ඉවත් කර සුදුසු නිලධාරීන් අදාළ තනතුරුවලට පත් කළ යුතු බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලතලවල රැඳී සිටින ඇතැම් නිලධාරීන් නිසි පරිදි වෛද්‍ය සැපයුම් ජාලය සම්බන්ධව පුරෝකථනය කොට ඖෂධ ඇණවුම් නොකිරීම නිසා මේ වන විට ඖෂධ හිඟය ඇති වී තිබෙන බවද සඳහන් කළේය.

මේ වන විට සෝඩියම් බයිකාබනේට්, ඉමියුනොගොලොබියුන්, ඉන්සියුලින් ඇතුළු ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බවත්, කඩිනමින් මේ සඳහා විසඳුම් නොලැබුණහොත් මෙම තත්ත්වය ලබන වසරේදී තව තවත් වර්ධනය වන බවද ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව ඖෂධ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින අතර, පසුගිය කාලයේදී ඇතැම් ඖෂධ ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස මිලදී ගෙන තිබෙන බවද සඳහන් කළේය.

මේ අනුව වෛද්‍ය සැපයුම් පද්ධතියට ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය පවා අඩාළ කර තිබූ බවත්, මේ නිසා රටට විශාල අලාභයක් සිදු වූ බවත්, නිසි පරිදි ප්‍රසම්පාදනය සිදු කොට අඩු මිල ඖෂධ ඇණවුම් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

රුධිරගත ආම්ලිකතාව ඉහළ යන අවස්ථාවලදී වකුගඩු රෝගීන් ඇතුළු බරපතළ රෝගී තත්ත්වවලින් පෙළෙන රෝගීන්ට සෝඩියම් බයිකාබනේට් එන්නත ලබා දෙන බවත්, දියවැඩියාව රෝගීන්ට ඉන්සියුලින් එන්නත ලබා දෙන බවත්  ප්‍රතිශක්තීකරණ අවශ්‍ය රෝගීන්ට ඉමියුනොගොලොබියුන් ඖෂධය ලබා දෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *