එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් පරීක්ෂණයක් කරන්න – ඇමති බන්දුල

ඇතැම් මාධ්‍ය විසින් ද්වේශ සහගත, අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද කාරක සභාවට යොමු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඊයේ ඉල්ලා සිටියේය.

තම දේශපාලන දිවියේ යම් අක්‍රමිකතා සිදු කර ඇති බව ඔප්පු වුවහොත් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බවත් පසුගියදා ඇති වූ දුම්රිය වර්ජනය පදනම් කරගනිමින් ඇතැම් මාධ්‍ය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්. පසුගිය දින කිහිපය තුළ ඇතැම් මාධ්‍ය ආයතනවල වැඩසටහන් මගින් මා කෙරෙහි අසත්‍ය, ද්වේශ සහගත, අපහාසාත්මක වෛරය ප්‍රවර්ධනය කරන කරුණු රැසක් ප්‍රචාරය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

“මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා පන්ති සාමාර්ථයක් සමඟින් බීජිං හි විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබුවා.

මට විතරක් නෙවෙයි මේ සභාවේ ඉන්න ඇමැතිවරුන්ටත් කිසිම පරීක්‍ෂණයක් නැතිව, වගකීමක් නැතිව, කිසිම සාක්ෂියක් නැතිව අතිශයින් පහත් ප්‍රකාශ කරනවා. 1989 දී මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා මෙම සභාවට පත් කර සභාවේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා.

“අපි රටේ ජනතාවගෙන් සතයක්වත් හොරකම් කරලා නැහැ. මම ශත පනහක වංචාවක් කරලා තියෙනවා කියලා ඔප්පු වුණොත් මම මේ පාර්ලිමේන්තුවෙන් විතරක් නෙවෙයි දේශපාලනයෙන් සමුගන්නවා. මගේ කිසිම දරුවෙක් දේශපාලනයට සම්බන්ධ නැහැ. මගේ පවුලේ අන්තිම වතාවට දේශපාලනය කරන්නේ මම විතරයි. මේක ඔප්පු වුණොත් මම දේශපාලන කරළියෙන් සදහටම සමුගන්නවා.

“එසේ තිබියදී 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතට අනුව ඒ බව දැන දැනම මාධ්‍ය සංවිධාන සමඟ මෙය සිදුකිරීමෙන් මගේ වරප්‍රසාද කඩකර ඇති බව මම විශ්වාස කරමි. හේතුව මේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප පවා සම්පූර්ණයෙන්ම බැර වුණේ යුද්ධය පැවැති කාලයේ පාර්ලිමේන්තුව විසින්ම ආරම්භ කළ අරමුදලට. මම මගේ ජීවිත කාලය තුළ නිල නිවසක ඉඳලා නැහැ. ප්‍රඥා බන්ධු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළේ මගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 10ක් යොදවලා.

මේස් දාඩිය දානකම් උගුරේ ලේ දැනෙනකම් අපි දන්න දේ දරුවන්ට කියලා දීලා ඔවුන් වෛද්‍යවරු, මහාචාර්යවරු වෙනවා. මාධ්‍ය මගින් අපහාසාත්මක, ද්වේෂ සහගත සිතිවිලි ඇති වන අයුරින් අසත්‍ය ප්‍රචාරය කිරීම නුසුදුසු ය. මේ සඳහා හැකි උපරිමය කිරීම සඳහා මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *