එල්ලවූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා – රේගු වෘත්තීය සමිති

අමාත්‍ය විජිත හේරත් මහතා ඉකුත් 07 වනදා කොළඹ වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී රේගු නිලධාරීන් පිළිබඳව විවිධ පාර්ශ්වවලින් එල්ලවූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ ඔස්සේ ජනගත වූ සාවද්‍ය කරුණු පිළිබඳව රේගු වෘත්තීය සමිති සන්ධානයේ බලවත් අප්‍රසාදය පළ කර කරන බවද නිවේදනයක් නිකුත් කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ,

කොළඹ වරාය පරිශ්‍රයෙන් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ එක් පියවරක් ලෙස කෙරවළපිටියේ බහාලුම් පරික්ෂා කිරීමේ අංගනයක් ස්ථාපනය කිරීමට 2022 වසරේදී යෝජනා ඉදිරිපත් කළේය.

නමුත් යෝජනාව ඉදිරිපත් කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙම ගැටලු විසඳීමට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට පැවැති රජයන් මෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ ඉහළ පරිපාලනය කටයුතු කර නොමැත.

බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සුමට කිරිමෙහිලා ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන කෙරවළපිටිය අංගනයට අදාළ යෝජනාව වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වීම හරහා මේ පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් උද්ගතවී ඇත.

මේ අතර කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ බහලුම් රථ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම බහාලුම් අංගනවල කළමනාකාරීත්වයේ කාර්යයක් බවය.

රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා,

“කාටද අවශ්‍ය භාණ්ඩ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය අඩපණ කරලා වැරදි අනාවරණය වීම වළක්වා ගැනීමට. එවැනි අවශ්‍යතාවයන් තිබෙන පිරිස් තමයි මේ අභූත චෝදනා එල්ල කරන්නේ. රේගු නිලධාරීන් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා අගතියට පත්වුණු ජාවාරම්කරුවන් තමයි මේ ක්‍රියාවලිය යටතේ පෙළගැසී සිටින්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *