උසාවි නියෝගයෙන් අධිවේගී රක්ෂිතයේ නිදන් වස්තු සොයයි

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව  අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු  ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙසට අත්තනගල්ල අධිකරණයේ නියෝග මත කැණීම් කටයුතු  ආරම්භ කරන ලද අතර පස්වරු වන විට කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව මහවැසිමැද එම කටයුතු  කල් තැබීමට පොලිසියට සිදුවිය

මෙම කැණීම් කටයුතු උදේ දහයට ආරම්භ වීමට නියමිතව තිබුණත් පෙරවරු එකොළහි තිහ වනතුරුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇනහිට පැවතිණි

පෙරවරු නවයේ පමණ සිට   පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක  නිලධාරීන් හැටකට ආසන්න පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාවද රැස්ව සිටියහ

භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පෙරවරු එකොළහයි හතළිහට පමණ පැමිණීමෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කෙරිණි .එම නිලධාරීන්ට අදාළ පණිවිඩය ලැබී නොතිබුණු බව ඔවුන්ගෙන් දැනගන්නට ලැබිණි . කටයුතු ආරම්භ කිරීමට පෙර වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග රංගන මහතා අධිකරණ නියෝගයේ සඳහන් කරුණු පැහැදිලි කර දී ඒ  සඳහා සහයෝගය දක්වන ලෙස අදාළ නිලධාරින්ගෙ න්ඉල්ලා සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම සිදු කරනු ලැබීය . එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු විය .

අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා  මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි .

මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි .

පැය තුනක වෙහෙසකර ගැනීම් කටයුතුවලින් අනතුරුව පස්වරු දෙකයි, පනහට පමණ එම කටයුතු  දිවා ආ හාරය  සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහා වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු හතරට පමණ  කැනීම්කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය .

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නියමිත වේලාවට පැමිණියේ නම් මෙම කටයුතු අවසන් කිරීමට හැකියාව තිබූ බවත් එම නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා රාජ්‍ය නිලධාරීන් හැට දෙනකුගේ පමණ රාජකාරී පැය සියයකට කට වැඩි ප්‍රමාණයක්  අපතේ ගිය බව ද මෙවන් නාස්තින් අවම කිරීමට රාජ්‍ය නිලධාරීන් දැන්වත් පියර ගත යුතු බවද මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ කතා බහෙන් තේරුම් ගියේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *