අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි.
අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය.
පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
විභාගය මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
විභාග කාල සටහනනේ සිදුකර ඇති සංශෝධන සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙලෙස අදහස් පළ කළේය.
“සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසන් මොහොත වනතෙක් ඉන්න එපා. විභාග මධ්‍යස්ථානවලට කල් ඇතිව යන්න. මෙවර අලුත් විෂයක් එකතු වෙලා තිබෙනවා. කොරියන් භාෂා විෂය. එම විෂය ඇතුළත් කිරීම නිසා කාලසටහනේ යම් වෙනසක් සිදුවුණා. ඒ නිසා පෙර කාලසටහන් භාවිත කරන්න එපා. ප්‍රවේශ පත්‍රයේම කාලසටහන දක්වලා තිබෙනවා. එය ප්‍රමාණවත්.”
මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග පවතින ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ගංවතුර හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේය.
මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.