ඉන්දීය කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය පුරවැසිභාවය

තමිල්නාඩු ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන වාර්තාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් මහාතා වෙත භාරදී තිබේ.

තමිල්නාඩු රජය විසින් පිහිටුවන ලද මණ්ඩලයක් මගින් එම අතුරු වාර්තාව ඊයේ (29) දිනයේදී ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අතුරු වාර්තාව මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේද ගවේෂණය කර තිබේ.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන යම්යම් නිර්දේශ ද අදාළ අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට සහ පුරවැසිභාවය සඳහා වන නීතිමය කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පසුගිය වසර දෙක තුළ කඳවුරුවලින් එක්රැස්කරගත් දත්ත අධ්‍යයනය කිරීමෙන් සහ මේ සම්බන්ධයෙන් වන අනෙකුත් තොරතුරු තක්සේරු කිරීමෙන් අනතුරුව අදාළ වාර්තාව ඉදිරිපත් කළ බව එම කමිටුව ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

අදාළ වාර්තාවට අනුව පුරවැසිභාවය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, තමිල්නාඩුවේ ඉන්දියානු ජන ජීවිතයට ඔවුන් ඒකාබද්ධ කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *