ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ: ජනපති

ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි අවධාරණය කර තිබේ. කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය රජය මෑතකදී ප්‍රකාශ කළ ස්ථාවරය ද ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව ඇත.

කච්චතිව් දූපත සම්බන්ධයෙන් දිගු කලක් පවතින ගැටලුව පිළිබඳව ඉන්දියාව දැරූ ස්ථාවරය සම්බන්ධයෙන් සතුට පළ කළ ජනාධිපතිවරයා, එය අසල්වැසි රටවල් දෙක අතර සබඳතා සඳහා යහපත් ලකුණක් බව සඳහන් කර තිබේ.

ඉන්දියාවේ නීතිපති ආර්. වෙන්කටරාමනි මහතා ඔක්තෝබර් 6 වැනිදා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ 1974 සහ 1976 වසරවලදී ඇති කරගත් සමුද්‍රීය ගිවිසුම් යළි විවෘත කිරීමට ඉන්දීය රජයට කිසිදු අදහසක් නොමැති බවයි.

ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අඛණ්ඩව විසඳා ගැනීමට කටයුතු කරන බව ද ඉන්දීය රජය අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමේ වැදගත්කම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත. අදාළ ගිවිසුම්වලට එරෙහිව ඉදිරිපත් කර ඇති නීතිමය අභියෝග සම්බන්ධ නඩු කටයුතු තවදුරටත් විභාග වෙමින් පවතින අතර, මීළඟ නඩු විභාගය 2027 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ද ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවට හානිකර කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බවට සහතික වී තිබිණි. ඒ, සැප්තැම්බර් මාසයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමඟ පැවති හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *