ඉක්මන් සහ ෆේස්බුක් මාර්කට්ප්ලේස් වැනි අන්තර්ජාල වේදිකා ඔස්සේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් සිදුකරන නව වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත පුද්ගලයන් සහ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් මෙම වංචාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය දැනුම් දී ඇත.
මෙම වංචාවේදී වංචාකරුවන් ඇස්බැස්ටෝස් තහඩු, සිමෙන්ති සහ අනෙකුත් ඉදිකිරීම් භාණ්ඩ වෙළෙඳපොළ මිලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි කරන බව පවසමින් දැන්වීම් පළ කරති.
පාරිභෝගිකයෙකු භාණ්ඩ ඇණවුම් කළ පසු, වංචාකරු එම පාරිභෝගිකයාගේ ප්‍රදේශයේ සැබෑ දෘඩාංග වෙළෙඳසැලක් සම්බන්ධ කරගෙන භාණ්ඩ පාරිභෝගිකයාගේ නිවසට හෝ ඉදිකිරීම් ස්ථානයට ගෙන්වා දීමට කටයුතු කරයි.
භාණ්ඩ ලැබුණු පසු වංචාකරු පාරිභෝගිකයා අමතා, තමන් ලබාදෙන බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙස උපදෙස් ලබා දෙයි.
කෙසේ වෙතත්, භාණ්ඩ රැගෙන පැමිණි රියැදුරු හෝ දෘඩාංග වෙළෙඳසැල් හිමියා මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී පාරිභෝගිකයා තමන් වංචාවකට හසුවී ඇති බව දැනගනී. එවැනි අවස්ථාවක වංචාකරුට බැර කළ මුදල මෙන්ම ලබාගත් භාණ්ඩද අහිමි වීමේ අවදානමක් පවතී.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා පොලිසිය ජනතාවට පහත උපදෙස් ලබා දී තිබේ:
- භාණ්ඩ නිවසට හෝ ඉදිකිරීම් ස්ථානයට ගෙනැවිත් තිබූ පමණින් අන්තර්ජාලය ඔස්සේ මුදල් බැර නොකරන්න.
- භාණ්ඩ රැගෙන පැමිණි රියැදුරු හෝ අදාළ දෘඩාංග වෙළෙඳසැලේ හිමිකරු සමඟ සෘජුව සම්බන්ධ වී ගනුදෙනුව තහවුරු කරගන්න.
- බැංකු ගිණුමකට මුදල් බැර කරන්නේ නම්, අදාළ දෘඩාංග වෙළෙඳසැලේ නමින් නිල වශයෙන් ලියාපදිංචි කර ඇති නිල බැංකු ගිණුමට පමණක් මුදල් යවන්න.
- හැකිතාක් භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) ක්‍රමය භාවිත කරන්න.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අසාමාන්‍ය ලෙස අඩු මිල ගණන් සහිත අන්තර්ජාල දැන්වීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර, මුදල් ගෙවීමට පෙර ගනුදෙනුවේ සත්‍යතාව තහවුරු කරගන්නා ලෙසයි.


