විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ ගමනාන්තයට අදාළ දුම්රිය E ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බව ද අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බව ද ඒ මහතා කීය.
කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පුද්ගලයන්ගේ සහාය ලැබෙන බවට තොරතුරු පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව, ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහතදී අන්තර්ජාලයට මුදා හරින බවත් එසේ මුදාහැර බලා සිටියදී තත්පර 42ක් වැනි කෙටි කාලයකදී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවත් ගුණසේන මහතා කීවේය.
පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බවට සැකයක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බවත් කී ඒ මහතා මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇතැයි ද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියකට සම්බන්ධ විය යුතු බවත් වැඩි මිලට ටිකට්පත් මිලට ගන්නා පිරිස් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී සහාය නොදී මඟ හැරීම බරපතළ ගැටලුවක් බවත් පොලීසිය පවසයි.